හය වන පරිච්ඡේදය
සහන්සා විහඟි කාමරේට එක්ක ගිහින් සද්ද නැතුවම පිට වෙලා ආවෙ විහඟි උනත් මේ වෙලාවෙ ඉන්නෙ හොඳ මානසිකත්වයකින් නොවන බව දන්න නිසාත්, චූටි දෝණිට මේ දේ සිද්ද උනේ තමන් නිසා බව දන්න නිසාත් සිත් තැවුලෙන්.
සහන්සා එනකොට කවීෂ අඩන දෝණිව නලවනවා.සහන්සා ලගට එද්දි කවීෂ හෙලුවෙ නොරිස්සුම් බැල්මක්.
"අනේ කවීෂ මට සමාවෙන්න ...මම..."
"අනේ ඇති මිස් සහන්සා හොඳටම ඇති..ප්ලීස් ඔයා ආපු ජොබ් එක කරන්න.මටයි මගෙ නෙතූටයි ඉන්න දෙන්න...විහඟි අපෙන් දෙවියො ඈත් කලා.විහඟිට අපිව එපාලු.අපි එයාට කරදර කරන්නෙත් නෑ..අනේ අපිට මෙහෙම ඉන්න දෙන්න ඔයා එයාව බලා ගන්න.."
සහන්සා එතනම නතර උනේ කවීෂගෙ හඩින්..ඒ හඩ වෙව්ලුවා..ඔව් සහන්සා හිතුවා හරි.ඒ ඇස් වල කඳුලු ...චූටි දෝණි හොඳටම අඩනවා..
"අනේ මගෙ රත්තරන් ඔයා දන්නවා තාත්තිට ඔයා අඩනවා බලන්න බෑ මැණික...මට ඉන්නෙ ඔයා විතරයි...ආයි කාටවත් ඔයාට රිද්දන්න තාත්ති දෙන්නෙ නෑ නෙතූ...අනේ අඩන්න එපා...මගෙ සුදු අම්මිට ගොඩක් රිදෙනවද...??"
සහන්සට ඇඩුනෙ ඒ තුරුණු පිය සෙනෙහස දැකලා.
කවීෂගෙ අමනාපය නොසලකා සහන්සා දෝණිගෙ අත බැලුවෙ කවීෂ පුදුමයෙන් බලද්දි..
ඒ චූටි සියුමැලි අත විහඟිගේ නියපොතු වලට සීරිලා තිබුනෙ..ඒ විතරක් නෙමෙයි ඇගිලි හතරක සලකුණු පැහැදිලි ලෙස ඒ අතේ සටහන් වෙලා තිබුනා.
දෙයියනේ විහඟි මේ දරුවට නපුරුකම් කරන්නෙ මොන හේතුවකටද...?
"කවීෂ ඔයා තරහා නැත්නම් මම දෝණිව ටිකක් වඩාගන්නද...එයාට රිදෙනවා ඇති..."
සහන්සා කියුවෙ දරුවගෙ ඇඩිල්ල බලා ඉන්න බැරිම තැන.කවීෂගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනෙ දරුවගෙ වේදනාවටද නැත්නම් විහඟිගේ හැසිරීමටද කියලා සහන්සට හිතා ගන්න බැරි උනා.
කවීෂ හා කියලා නොකියුවත් අකමැත්තෙන් නොපෙන්නූ නිසා සහන්සා දරුවව අතට ගත්තා..
"හලී...මගෙ චූටි දෝණි එන්න...එන්න මැණික...හලී.මේ බලන්න...මේ චෝයි සාදු මලක්...මේ බලන්න මණික...සාදු මලක්...තෝයි....මගෙ බබියෝ..."
සහන්සා දරුවා නලවන හැටි කවීෂ බලා හිටියෙ පුදුමෙන්.සහන්සා වත්තෙදි කඩාගෙන විහඟිගේ ඔලුවෙ ගහපු ඒ රෝස මල වැටිලා තිබුනා බිම.සහන්සා ඒ මල පෙන්නමින් දරු පැටියා නලවද්දි ඒ බෝල ඇස් කඳුලු පුරවන් හිනා උනේ කවීෂ තවත් පුදුම කරමින්.
"අන්න මගෙ දෝණි හිනා වෙනවා...කෝ ...කො..."
සහන්සා දරුවා සමග හුරතල් වෙද්දි කවීෂ තද සුසුමක් හෙලුවෙ සහන්සගෙ අවදානය ඒ ලෙසට ගනිමින්.
"අනේ මන්දා සහන්සා නෙතූ ඔයා අතේ නැලවෙන හැටි මට හරිම පුදුමයි..."
"මං ගැන වරදක් හිතන්න එපා කවීෂ ...දරුවට නම කියලා කතා කරන්න එපා...වෙන මොනා හරි ආදරේට කියන නමක් කියන්න...ඒක ගොඩක් හිතට දැනෙනවා.එයාට නම කියන්න ඕනි කෙනෙක්ට පුලුවන්.ඒත් ආදරණීය නමක් කියන්න පුලුවන් විශේෂ අයට විතරයි..."
සහන්සා දරුවා කවීෂ අතට දුන්නෙ එහෙම කියන ගමන්..
"තෑන්ක්ස් සහන්සා දරුවව නැලෙව්වට.අද එයාව මටවත් නලවන්න බැරි උනා..."
සහන්සා හිනා වෙලා එතනින් එනකොට කවීෂ උඩු මහලට ගියෙ ඔෆිස් යන්න අදින්න.
..................
මේ සියල්ලම නිහඩව බලා හිටපු කෙනෙක් හිටියා...එයා මේ දේවල් දැකලා ගොඩක් කලබල වෙලා හිටියෙ.
"අපෙ මහත්තයා..."
"ම්ම්ම්.."
"අපෙ දරුවා ගැන අපි හිතුවොත් හොඳ නැද්ද..?"
"ඒ කියන්නෙ...??"
"විහඟිට සනීප වෙන පාටක් නෑ අපෙ මහත්තයා...අපේ දරුවගෙ ජීවිතේ හොඳම කාලෙ.අනික නෙතූ උනත් තවම නොදරුවා..එයාට හොඳ අම්මෙක් හොයලා දුන්නොත් අපෙ දරුවා ඔය විදින දුක් ටිකක් හරි අඩු වෙයි.අපෙ දරුවා ජීවිතේ පටන් ගත්තා විතරයි අපෙ මහත්තයා.."
බාලසූරිය නෝනා කියුවෙ සාරි පොටෙන් කදුලු පිසිමින්..
"මොනාද නෝනෙ කියන්නෙ...අමු කැවිලද මේ උදේ පාන්දර ...අර ලෙඩ දරුවා මේ වහලෙ යට ඉද්දි.."
"නෑ ඉතින් විහඟිගේ අම්මා තාත්තා උනත් තේරුම් ගනී...අපේ පුතාට හැමදාම නෙතූව බලා ගන්න බෑ.ඒ දරුවා ලොකු මහත් වෙනකිට ඒ දරුවට අම්මෙක් ඕනි...මේ නොතේරෙන කාලෙ කවුරුහරි හොයලා දුන්නම අපිට නෙතූ ලොකු වෙච්ච දවසක මේ දේවල් නොකියා ඉන්න තිබුනා."
"පිස්සුද නෝනෙ ඔය කතා පුතාට එහෙම කියනවා නෙමෙයි ආයි.."
"මහත්තයානම් කියයි.මට බය අපිට නොගැලපෙන කුණ්ඩවාලියක් කරේ එල්ලා ගනී කියලා.."
බාලසූරිය නෝනා කියුවෙ සහන්සා හා කවීෂ උදේ මිදුලෙ කතා කර කර හිටපු එක සිහි කරමින්..
"අනේ මන්දා නෝනෙ පුතාට කියන්නකො.මම නෑ ඕවට..."
බාලසූරිය මහත්තයා ඇග බේරා ගත්තෙ බාලසූරිය නෝනට යමක් පැහැදිලි කිරීම අමාරු බව දන්න නිසා .
.........................
විහඟිගේ කාමරේට නැවත ආවත් සහන්සා උදේ කිසිවක් සිදු නොවූ ලෙස හැසිරුනා.
"විහඟි අපි ඉදිආප්ප කමුද...?"
"ඕ...කේ...මම කවන්නම්..."
සහන්සා කවද්දි විහඟි කටවල් තුන හතරක් කෑවෙ පොඩි එකෙක් වගේ කට අරිමින්...තමන්ගෙ වයසම ඇති මේ තරුණිය විදින දුකත් ඇයට සිදු වී ඇති දේත් ඇය නපුරු වී ඇති හැටිත් යන සියලු දේ එක්ක සහන්සට විහඟි ගැන ඇති උනේ දුකක්.
බාලසූරිය මහතා දැනුවත් කරලා විහඟිගේ වෛද්‍යවරයා හමු වීමට ගිය සහන්සා ඇයට කිරීමට අවශ්‍ය ප්‍රතිකාර හා ව්‍යායාම පිළිබඳව සියල්ල දැන ගත්තා.ඇයගෙ නව තත්වය කියමින් හැසිරීම් රටාව ගැන පැහැදිලි කල සහන්සා බොහෝ උවමනාවෙන් මේ පිළිබදව කටයුතු කරනවා දැක්ක වෛද්‍යවරයාත් පුදුම උනා.
"මිස්ට බාලසූරිය ...ඔයාලා මේ පාර විහඟි බලාගන්න ගත්ත කෙනානම් ඇත්තටම ලොකු වෙනසක් කරයි වගේ. "
"නෑ...ඩොක්ටර් මේ අපේ නෑදෑ වෙන දුවක්.මේ දවස් වල අපෙ ගෙදර ඉන්නෙ.."
සහන්සා පුදුම උනේ බාලසූරිය මහතා තමාව වෛද්‍යවරයා ට හදුන්වලා දීපු විදිහට.
"ඕඕඕ සොරි මිස් විහඟි ....ඔයා කරන්න ඕනි හැමදේම අහපු නිසා මම හිතුවා..."
"ඉට්ස් ඕකේ..ඩොක්ටර් ."
විහගි කියුවෙ හිනා වෙලා..
"ඔය දරුවා තමන්ගෙ කෙනෙක්ටත් වඩා අපේ විහඟි සනීප කරන්න උත්සහා කරද්දි අපිට ඔයා පිට කෙනෙක් විදිහට ලෝකෙට පෙන්නන්න බෑ දුවේ..."
නැවත නිවසට එන අතරමගදී බාලසූරිය මහත්තයා කියුවෙ සහන්සගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙට පිළිතුරු බඳින්න වගේ...
හත් වන පරිච්ඡේදය
සහන්සා තමන්ගෙ මුළු කාලයම ගත කලේ විහඟිගේ ප්‍රතිකාර සඳහා...
උදේම නැගිටලා විහඟි සෝදලා ඇදුම් අන්දලා වත්ත පුරා වටයක් එක්ක යන එක සහන්සාට පුරුද්දක් උනා.ඊට පස්සෙ වත්තෙ ඉදගෙනම විහඟිට කරන්න කියලා වෛද්‍යවරයා ලබා දීපු ව්‍යායාම පැයක් විතර කරවන්නෙ ඒ වෙලාව තුල කවීෂ හ පුන්චි දෝණි සමඟ ඔෆිස් එකට පිට වෙලා යන කම්.
මොකද එදා සිදුවීමෙන් පස්සෙ කවීෂ හා දෝණිට සම්බන්ද කිසිම දේකට විහඟි හා සම්බන්ද නොවෙන්න සහන්සා තීරණය කලේ ඒ දේවල් දෝණිගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා.
ව්‍යායාම වලින් පස්සෙ උදේ කෑම කවලා ඊට පස්සෙ බෙහෙත් ටික වෙලාවට දෙනවා.
ඊට පස්සෙ සහන්සා කරන්නෙ පත්තරයක් හරි නවල් එකක් හරි විහඟිට ඇහෙන්න කියවන එක.
විහඟි ඒ දේට ගොඩක් කැමති කියලා සහන්සා තේරුම් ගන්නෙ බැරි වෙලාවකවත් සහන්සා ඒ දේ නොකරන වෙලාවට විහඟි පොත් රාක්කෙ පෙන්නන නිසා.
දවල්ට කන්න දීලා බෙහෙත් දුන්නම විහඟි ටිකක් වෙලා නිදා ගන්නවා.ඊට පස්සෙ නැගිට්ටම සහන්සා ආයිත් එයාව සෝදනවා.ඊට පස්සෙ සහන්සා ආවට පස්සෙ විහඟිගේ කාමරේ ගෙනත් තිබ්බ බුදු පින්තූරෙට මල් පූජා කරනවා.
රෑටත් විහඟිගේ කාමරේට අලුතින් හයි කරපු රූපවාහිනිය දාලා දෙනවා.සමහර දවසට විහඟි රූපවාහිනිය වහන්නෙ රෑ දහයත් පහු උනහම.
සහන්සා මේ හැම දේම කලේ ගොඩක් සතුටින්.මොකද තමන් කරන සාත්තු වලින් විහඟි සතුටින් බව සහන්සට දැනිලා තිබුනා.
බාලසූරිය දෙමහල්ලෝ උනත් ගොඩක් සතුටින් හිටියෙ විහඟිගේ හැසිරීම වෙනදට වඩා ගොඩක් වෙනස් නිසා.වෙනදට කන්න බොන්න දුන්නම විහඟි වැඩි හරියක් කලේ කෑම එක පොලවෙ ගහපු එක.දැන් එහෙම දේවල් නොවෙන තරම්...
................................
සහන්සා ඇවිත් මසක් විතර ගත උනා..සහන්සට අම්මලා හැම වෙලේම කතා කරලා ගෙදර එන්නෙ නැද්ද කියලා ඇහුවත් විහඟිගේ ප්‍රතිකාර වලන් යහපත් අතට හැරෙන වෙලාවෙ විහඟි දාලා යන්න සහන්සා කැමති උනේ නෑ..
මේ අතර බාලසූරිය යුවල දඹදිව වන්දනාවකට සහභාගි උනේ විහඟි ගැන ඔවුන්ට තිබුන වගකීමෙන් ඔවුන් ගොඩක් දුරට මේ වෙනකොට මිදිලා හිටිය නිසා.
නමුත් බාලසූරිය මැතිණිය නම් මේ ගමන යන්න වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.සහන්සවත් කවීෂත් තනිවම නිවස තුල දමා යාම නිසා සහන්සට කවීෂගෙ කරේ එල්ලෙන්න අවස්ථාවක් ලබා දෙනවා වගේ කියලා තමයි ඇය නිතර කියුවෙ.නමුත් බාලසූරිය මහතාගේ ඇවිටිල්ල මත නිවසේ සේවිකාවක් සිටිය නිසා මේ ගමන යාමට ඇය කැමති උනා.
...........................
සහන්සා උදේම නැගිටලා විහඟිට ව්‍යායාම කෙරෙවුවා.සහන්සට ඇහුනෙ ඉහල මහලෙන් දෝණි හඩන හඩ එක දිගට නොනවත්වා ඒ හඩ ඇහුනත් විහඟි එතන තනියම දාලා යන්න බැරි නිසාත්, විහඟිට පේන්න ඒ දෙසට අවදානය නොදී සිටීමට තිබූ අවශ්‍යතාව නිසාත් විහඟිට ව්‍යායාම කර අවසන් වන තුරු සහන්සා හිටියෙ නොවිසිල්ලෙන්.
විහඟි කාමරේට දාලා සාලෙට ආපු සහන්සට තවමත් දෝණි හඩන හඩ ඇහුනා.කවීෂ දරුවා නලවන්නෙ නැත්තෙ ඇයි...සහන්සා කවදාවත් උඩුමහලට ගිහින් තිබ්බෙ නෑ..
"මැණිකා නැන්දා...මැණිකා නැන්දා..."
සේවිකාවට කතා කලත් ඇයත් ප්‍රතිචාරයක් නොවන නිසා සහන්සා අඩියෙන් අඩිය පියගැටපෙළ නැග්ගෙ ගැහෙන හදින්.
උඩුමහලේ තිබුනෙ කවීෂගෙ කාමරේ විතරයි...තමන් එහි යන එක හරි නැති උනත් දෝණිගෙ නොනවතින හැඩුම් හඩ සහන්සා ඒ දෙසට ඇදලා ගත්තා..
කාමරේ දොර අඩවල් කරලා තිබුනත් සහන්සා දොරට තට්ටු කලා.
"කවීෂ. ...කවීෂ ....ඇයි මේ දෝණි අඩන්නෙ..?"
"එන්න..."
සහන්සා කාමරේට ඇතුල් උනේ චකිතයකින්..
"අනේ සහන්සා ඔයා ආවද...?අනේ චුට්ටක් දෝණි නලවන්නකො..මට නැගිටාගන්න පණක් නෑ..මම නැලෙව්වට එයා නැලවෙන්නෙ නෑනෙ..."
සහන්සට ඇහුනෙ කවීෂගෙ දුර්වල හඩ..
කවීෂ ලගම දෝණි වැතිරිලා හිටියත් ඇය හිටියෙ හොදටම අඩමින්.
"මොකද මේ...ඔයාට මොකද වෙලා තියෙන්නෙ ..?"
"මට ඊයෙ උදේ ඉදලා උන සහන්සා .ඒත් මම ඔෆිස් ඉදලා එන්න චුට්ටක් රෑ උනා.බෙහෙත් ගත්තෙත් නෑ.."
"ඉතින් උන තියන ඔයා ලගද දරුවා නිදි කර ගත්තෙ...?"
සහන්සා අහද්දි කවීෂ ඉවත බලා ගත්තා..
"මගෙ මණික අයි අඩන්නෙ රන්...එන්න්..කෝ..එන්න.ආන්ටි අතට..."
සහන්සා දරුවව වඩා ගත්තා..
"දෙයිහාමුදුරුවනේ..."
සහන්සට කෑ ගැස්සුනා..
"ඔයා මේ දරුවා එක්ක සෙල්ලම් කරනවද කවීෂ ...තමුන් අසනීපයි කියලා දැන දැනත් මොන විකාරෙකටද දරුවා ලග තියා ගත්තෙ..."
සහන්සා කවීෂට බැන්නෙ දෝණිගෙ ඇග ගිනිකබලක් වගේ නිසා..
දෝණි කොට් එකේ තිබ්බ සහන්සා කාමරේ මේසෙ උඩ තියලා තිබ්බ ප්‍රථමාධාර පෙට්ටියෙන් උණ කටුව අරන් දරුවට තිබ්බා.
ගත වන තත්පරෙන් තත්පරේ සහන්සට දැනුනෙ කල්පයක් වගේ...
"මයි ගෝඩ්...එකසිය තුනයි ..."
සහන්සා ඉක්මනින් ඕඩිකොලෝන් ප්ලාස්ටරයක් දෝණිට දාලා පහළට දුවලා නිවින උණු වතුර ගෙනත් දෝණිව තෙම්මන්න ගත්තා.
"කවීෂ මේක හොදට අහා ගන්න.ඔයා දරුවට ආදරෙයි..අපි නෑ කියන්නෙ නෑ.ඒත් මතක තියා ගන්න.ඔයා විතරක් නෙමෙයි දරුවට ආදරේ.."
"තමන්ට උණ නම් දරුවා ලග තියා ගන්නවද..?දරුවට බෝ වෙයි කියලා හිතුනෙ නැද්ද..?"
සහන්සා පිස්සියක් වගේ කවීෂට බනිද්දි කවීෂ කටක්වත් ඇරියෙ නැතුව පුදුමෙන් සහන්සා දිහා බලා හිටියෙ කොහෙද ඉදලා ආපු මේ කෙල්ල තමන්ගෙ පවුල වෙනුවෙන් මොකට මෙහෙම වෙහෙසෙනවදසිතමින්.
කවීෂට කෙදිරි ගෑ උනේ ඇගේ තිබුන අමාරුවට.සහන්සට එතකොටයි මතක් උනේ කවීෂටත් උණ කියලා.
සහන්සා නිහඩව නැගිටලා ගිහින් කවීෂගේ නලලට අත තිබ්බා.ඒ නලලත් හොදටම රස්නෙයි..සහන්සා ඒ නලලත මතත් ඕඩිකොලෝන් ප්ලාස්ටරයක් දැම්මෙ නිහඩව.
"කවීෂ මම දරුවව ලෑස්ති කරන්නම්.ඔයත් ලෑස්ති වෙන්න.අපි බෙහෙත් ගන්න යමු.දරුවට හොදටම උන.පොඩි අයට මෙහෙම උණ වැඩි වෙන්න හොද නෑ...."
වෙනදා රෝස මලක් වගේ පිපිලා ඉන්න චූටි දෝණියා අද පරවෙච්ච මලක් වගේ...දැන් දරුවට අඩාගන්නවත් පණ නෑ..
සහන්සා දරුවා ලෑස්ති කරලා කාමරෙන් එලියට ගියෙ කවීෂට ලෑස්ති වෙන්න.
"මැණිකා නැන්දා..."
සහන්සා ගියෙ කුස්සියට
"ඕ..නෝනෙ.ඇයි...?"
"කොහෙද ගියෙ..මම කොච්චර කතා කලාද..?"
"අනේ නෝනෙ මාළු ලොරිය කෑ ගහනවා ඇහුනා.මම ඒකට දිවුවා..ඒ ලොරිය අලුත්ම මාලු ගේන්නෙ..මොකෝ මේ චූටි බේබි..?"
"ඒක තමා මම නැන්දට කතා කලේ..බේබිට උණ..මම බෙහෙත් අරන් එන්නම් මහත්තයා එක්ක.මහත්තයටත් උණනෙ..තනියම යන්න බෑ..මම එනකම් විහඟි නෝනව ටිකක් බලන්න.අද එයාට උදේ කෑම එක දුන්නෙත් නෑ තාම.අනේ බලන්න හොදේ ..මම එනකම් එයාවම බලා ගන්න.අපි පස්සෙ උයමු"
"හරි නෝනෙ.."
සහන්සා සාලෙට එනකොට කවීෂ අමාරුවෙන් පහලට බහිනවා.
"යමු.."
සහන්සා දරුවා කවීෂට දීලා කාර් එකේ ඉස්සරහා දොර ඇරියා.
"යතුර දෙන්න.."
සහන්සා ඉල්ලද්දි කවීෂ බැලුවෙ පුදුමෙන්..
"ඩ්‍රයිවින් පුලුවන්ද ..?"
"නැත්නම් යතුර මොකටද කවීෂ ..ඕක දීලා ඉක්මනට නගින්න.බලන්න දරුවා දිහා.ඔයාට ඔහොම ඉදන් ඩ්‍රයිව් කරන්න බෑනෙ .."
කවීෂ යතුර දීලා එහා පැත්තෙ ශීට් එකෙන් ඉද ගත්තෙ සහන්සා ගැන කල්පනා කරමින්
හත්වන පරිච්ඡේදය
"ඔයාලා මොනාද මේ පුන්චි දරුවෙක්ට උණ වැඩි වෙනකම් ගෙදරට වෙලා කලේ...ඔයාලට දෙමව්පියො විදිහට මේ තරම් පොඩි දරුවෙක් ගැන වගකීමක් නැද්ද...?"
වෛද්‍යවරයා කෑ ගසන්නට පටන් ගත්තේ දරුවාව පරීක්ෂා කරන්නට ගත් මොහොතේ ඉදලා.සහන්සා නිහඩව බලා සිටියදී කවීෂ අසරණව බලා සිටියා.
"දරුවගෙ නම...??"
"නෙතුසරා.."
"වයස..??"
"මාස හයයි සති දෙකයි.."
"උණ කොයි වෙලේ ඉදලද..?"
"ඩොක්ටර් මම හිතන්නෙ ඊයෙ රෑ ඉදලා..."
"මම හිතන්නෙ කියන්නෙ මිස්ට ... ඔයාගෙ වයිෆ් මොනාද කරන්නෙ...අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් ඔයා...ඔයා මොනාද මේ වගකීමක් නැතුව කරන වැඩ..?"
වෛද්‍යවරයා කවීෂගෙ සිට කෙලින්ම හැරුනේ සහන්සා දෙසටයි.ඔව්...ඔහු පටලවාගෙන ඇත.ඔහු සිතන්නේ සහන්සා නෙතූගේ මව බවයි.
"අනේ ඩොක්ටර් සොරි..මේ මගෙ වයිෆ්ගෙ නංගි.වයිෆ් ඇක්සිඩන්ට් එකක් වෙලා.එයා එක තැන.මටයි දුවටයි දෙන්නටම උණ කියලා දැනගෙන තමයි නංගි උදේම ආවෙ..මටත් උණ තිබුන නිසයි දරුවා ගේන්න පරක්කු උනේ..වරද මගේ.."
කවීෂ සියළු වරද තමා පිට පවරා ගනිද්දී වෛද්‍යවරයාගේ මුහුණට කනස්සලු පෙනුමක් එකතු උනා.
"ඕ ..සොරි මිස්ට ...මොනා උනත් දරුවා ගැන අවදානයෙන් ඉන්න ඕනි.මේ වගේ පොඩි ලමයින්ට උණ වැඩි උනාම ෆිට් එකට එන්න පුලුවන්..ඒකයි...මොනා උනත් දරුවව ඇඩ්මිට් කරන්න සිද්ඩ වෙනවා.මේ විදිහට දරුවා ගෙදර යවන්න බෑ.."
සහන්සාත් කවීෂත් පැටළුනේ විශාල ගැටළුවක.
සහන්සා මෙහි නතර උවහොත් විහඟි බලා ගැනීමට කවුරුත් නෑ...කවීෂට අසනීපත් එක්ක දරුවා ලග ඉන්නත් බෑ..
"සහන්සා ඔයා ගෙදර යන්න.මේ කරපු දේවල් වලටත් ගොඩක් ස්තූතියි ..පුලුවන්නම් කැබ් එකක දරුවගෙ රෙදි ටික එවන්න.."
කවීෂගෙ හඩ බොහෝ අසරණව ගොසිනි .තරුණ පියෙකුට තම කිරි කැටියා හා තනිව මෙවැනි දෙයකට මුහුණ දීමට මවකට තරම් ශක්තියක් නැත.
කසාදයකින් පළමු දරුවා ලැබීමෙන් පසුව තරුණියක් මවක් වන්නේත් තරුණයෙක් පියෙක් වන්නේත් එක විටකම වූවත් කාන්තාවකට දරුවෙක් පිළිබද කටයුතු සහජයෙන් පිහිටයි .දරුවා උපන් මොහොතේ පටන් මවකගේ සියළු කාර්‍යන් තම දරුවා පදනමෙහිලා සිදුවන අතර ඒ ඒ අවස්ථාවට ඉකමනින් අනුකූල වීමට මවට පියාට වඩා හැකියාවක් උපතින්ම ලැබී ඇත.
"ඒත් කවීෂ ..."
"කෝ නෙතුසරා බබාගෙ අම්මා මා එක්ක එන්න.තාත්තට ගිහින් බබාගෙ අවශ්‍ය බඩු අරන් එන්න කියන්න..."
හෙදිය දරුවාගේ වෛද්‍ය වාර්තා අතැතිව කියද්දී කවීෂ අසරණව බැලුවේ සහන්සා දෙසයි.
"මිස් ..මම මේ බැලුවෙ මම ඉන්න බබා ලග.."
"මිස්ට දරුවෙක් අසනීප වෙච්ච වෙලාවට අම්මා ලග ඉන්න එක තමයි හොදම...ඔයාට ඕනි නම් දරුවා ඕනි වෙලාවක බලන්න පුලුවන්නෙ මෙහෙ...දැනට අම්මට ඉන්න දෙන්න..."
හෙදියටද මුල සිට තත්වය පැහැදිලි කිරීමට වෙලාවක් නැත.
"කවීෂ ඔයා කාර් එක මෙතන තියෙද්දි කැබ් එකක ගිහින් බඩු ටික ගේන්න.ඔයා ඩ්‍රයිව් කරන්න යන්න එපා..අනික මේ අසනීප එක්ක ඔයාට දරුවා ලග ඉන්න බෑ.මම ඉන්නම්."
"මැණිකා නැන්දට කියන්න විහඟි බලා ගන්න කියලා.මම හදිසියකට ගමේ ගියා කියලා විහඟිට කියන්න කියන්න.."
සහන්සා කීවෙ දරුවා සමග තමා සිටින බව විහඟිට කීමට හිත ඉඩ නොදුන් නිසා.
"කමක් නැද්ද සහන්සා අපි නිසා ඔයාට ගොඩක් කරදර.."
"දෝණි මට කරදරයක් නෙමෙයි කවීෂ .මතක ඇතුව කැබ් එකක යන්න.ඔයාට ඩ්‍රයිව් කරන්න බෑ.."
කවීෂ පිටව යද්දී සහන්සා හෙදිය සමග රෝහල් වාට්ටුවට ඇතුල් උනා.
......................
"අම්මා බබාගෙ ලේ එකක් ගන්න තියනවා.බබාට බෙහෙත් විදින්න වෙයි.කැනියුලා එකකුත් දාන්න ඕනි...ඒක නිසා අත ටිකක් අල්ලා ගන්නවද...එයා දගලයි.."
සහන්සාට දැනුනේ තමාගෙ හදවත සිදුරු වනවා සේය.පුන්චි සිනිදු පිටි අත්ල විද ලේ බින්දුව බින්දුව ටියුබ් එකට එකතු වන විට දරුවා මහා හඩින් කෑ ගසමින් අඩද්දී ඊට වඩා දහස් වරක් සහන්සා හදවතින් ඇඩුවාය.
කැනියුලා කටුව දමද්දී ඒ සුමුදු අත රතුව යනු දැක සහන්සාගේ කම්මුල දිගේ කදුලු බේරුනේ ඇයටත් නොදැනීමයි ..
හෙදිය බෙහෙතක්ද විද සේලයින් එකක් කැනියුලාවට සම්බන්ද කර පිටව යද්දී දෝණි නින්දට වැටුනේ හඩා තෙහෙට්ටුවටමයි..
දියණියගේ කුඩා අත තම අත්ල මතින් තබා පිරිමදිමින් උන් සහන්සා ඇද මතින් මුහුණ තබා මැලවී ගිය ඒ පුන්චි මූණ දිහා බලන් ඉන්නට පටන් ගත්තා.
........................
"මැණිකා නැන්දා..."
කවීෂ ගෙදර ගියේ කැබ් එකක.සහන්සාගෙ වචනයට අවනත වීමට කවීෂට සිදු උනේ වාහනය තනිව ගෙන යාමේ සවියක් සිතටත් ගතටත් නොතිබූ නිසා...
"මහත්තයෝ කෝ චූටි බේබි...සහන්සා නෝනයි..."
"අනේ මැණිකා නැන්දා චූටි බේබි නැවැත්තුවා ඉස්පිරිතාලෙ ...සහන්සා නෝනා බේබි ලග.මට ලග ඉන්න බෑ මට උණ නිසා.මට දරුවගෙ බඩු ටික ලෑස්ති කරලා දෙන්න මැණිකා නැන්දා...මට පණ නෑ.."
කවීෂ පවසද්දී ඒ දුප්පත් ගැහැණු ලය උණු වී දෑසට කදුලු පිරුනේ මවක් ලග නොමැති ඒ කිරි කැටියා වෙනුවෙන්.චීත්ත පොටෙන් කදුලු පිහමින් මැණිකා උඩුමහලට නැග්ගෙ දරුවගෙ බඩු ටික ලෑස්ති කරන්න.....
..............
"ඔක්කොම හරි මහත්තයා..."
"සහන්සා නෝනට ඇදුමක් දෙකක් දාන්න මැණිකා නැන්දා...තුවායක්...එයාගෙ ටූත් බ්‍රශ්...ඔය ඕනි කලමනා බලලා දාන්න.."
"හරි පුන්චි මහත්තයෝ ...මම මේ දවල්ට උයපු ඒවා වෙන වෙනම මේ කෑම
. භාජන වලට දැම්මා..සහන්සා නෝනවත් පුන්චි මහත්තයවත් උදේට කෑවෙ නෑනෙ.."
"මම යන්නම් මැණිකා නැන්දා..."
"මහත්තයෝ..."
"ඇයි මැණිකා නැන්දා.."
"විහඟි නෝනා...??"
"ආ...මට ඒක අමතක උනා.සහන්සා නෝනා කියුවා මැණිකා නැන්දට විහඟි නෝනා බලා ගන්න කියලා.එයාට කියන්න සහන්සා නෝනට හදිසියක් වෙලා ගමේ ගියා කියලා.ඉකමනට එනවා කියන්න..."
"හරි අපෙ මහත්තයා ..."
කවීෂ නැවතත් නිවසින් පිට උනේ කැබ් රියක් ගෙන්වාගෙනයි..
......................
කවීෂ එනකොට සහන්සට දෝණිගෙ ඇදට ඔලුව තියන් නින්ද ගිහින්..එක අතක් දෝණිගෙ නලල මත තියෙද්දි අනිත් අත මත දෝණිගෙ කැනියුලා දාපු අත තියාගෙන හිටියා..සහන්සගෙ මූණෙ කදුලු බිදු දෙක දුනක් ගිය සටහන් ඒ විදිහටම සටහන් වෙලා තිබ්බෙ සහන්සා අඩපු බවට සාක්ෂි ඉතුරු කරමින්..
දෝණිට හොදටම නින්ද ගිහින් තිබ්බා.කවීෂ දරුවගෙ කකුලක් අල්ලලා බැලුවා.දැන්නම් රස්නෙ නෑ..
"සහන්සා..."
කවීෂ කතා කලේ තවත් සහන්සට කතා නොකර එතැන රැදී සිටීම හොඳ නැති නිසා.
"ම්ම්..අනේ කවීෂ ඔයා ආවද...?දැන් දූට උණ අඩුයි.මට නින්ද ගිහින්...අනේ සොරි..."
"මොනාටද සහන්සා සොරි කියන්නෙ.අපේ කෙනෙක් වගේ අපිට උදවු කරනවටද..?"
"දෝණි ඉකමනට සනීප වෙයි නේද සහන්සා..??"
කවීෂ ඇහුවෙ හැඩුම්බරව.එදා සහන්සා කියුවා වගේ එදා ඉදලා චූටික්කිට දෝණිකියන්න කවීෂ පුරුදු උනා..
"බය වෙන්න එපා.එයා ඉක්මනට සනීප වෙයි.."
"සහන්සා මැණිකා නැන්දා කෑම දාලා ඇති.කන්න.."
"මට කන්න බෑ කවීෂ දරුවට ඩොක්ටර් මොනා හරි කියලා එයා කිරි ටිකක් බිවුවම මම කන්නම්.එයාටත් මොනාවත් නෑනෙ ඊයෙ රෑ ඉදලම.."
සහන්සා කියද්දි කවීෂට පුදුම හිතුනා.
නම වන පරිච්ඡේදය
මුවග රැදී ඒ කිරි සිනා හඬ..
ඇසේ තාමත් නුබේ ඒ හඬ..
කිමද මා හද පෙළන ඒ හඬ..
රැව් නගන්නේ රෑ දිවා කල...
ඇසේ තාමත් නුබේ ඒ හඬ..
කිමද මා හද පෙළන ඒ හඬ..
රැව් නගන්නේ රෑ දිවා කල...
මවක් නොමැතිව කිරිත් ඉල්ලා..
පියත් නොමැතිව තනිය උහුලා..
හඬන නුඹ නෙත් යුගල දැකලා..
මමත් හැඩුවෙමි ලොවෙන් හංගා..
පියත් නොමැතිව තනිය උහුලා..
හඬන නුඹ නෙත් යුගල දැකලා..
මමත් හැඩුවෙමි ලොවෙන් හංගා..
ගෙන තුරුල්ලට නුඹව නලවා..
කිරි පොවන්නට කුසත් පුරවා..
අනේ මා කල පිනක් නැතුවා..
හංස යුගලම කෝඩු තවමා..
කිරි පොවන්නට කුසත් පුරවා..
අනේ මා කල පිනක් නැතුවා..
හංස යුගලම කෝඩු තවමා..
කවීෂ කෙතරම් පෙරැත්ත කලත් සහන්සා වතුර පොදක්වත් තොල ගෑවෙ නෑ.දරුවා සහන්සා සමඟ රෝහල් කාමරයේ සිටියදී කවීෂ එළියට වී සිටියේ ඇයත් සමඟ තනිවම කාමරයේ සිටීමට සිත ඉඩ නොදුන් නිසා.
"අනේ සහන්සා දරුවට අඩුවක් නැද්ද..?"
හෙදිය තවත් වරක් දරුවාගේ උන සටහන් කර යද්දී කාමරයට පැමිණි කවීෂ විමසුවා.
"අනේ නෑ කවීෂ එකපාරටම උන අඩු වෙනවා.ආයිත් වැඩි වෙනවා."
"අනේ නෑ කවීෂ එකපාරටම උන අඩු වෙනවා.ආයිත් වැඩි වෙනවා."
සහන්සා පැවසුවේ හැඩුම් බර කටහඩින්.
"බය වෙන්න එපා.ඒ මේ උනේ හැටි .ඒක අඩු වෙනවා වැඩි වෙනවා.බබා ඉන්නෙ හොස්පිටල් එකේනෙ.පොඩ්ඩක් වත් බය වෙන්න එපා.ඔයාලා කන්න.දරුවට ඕනි පෝෂණය අපි දෙනවනෙ.."
වෛද්‍යවරයා කාමරයට ඇතුල් උනේ ඒ වෙලාවෙ.ඔහුගේ නෙත් රැඳිලා තිබ්බෙ කෑම භාජන වල.
"දැන් තාත්තයි පුන්චි අම්මයි දෙන්නම නොකා හිටියම දරුවගෙ ලග ඉන්නෙ අර අසනීප අම්මද..?අනික මිස්ට ඔයාට හැදිලා තියෙන්නෙත් දරුවට හැදුන වෛරස් එකමයි.ඔයා මෙහෙම මේ පුටුව උඩ වාඩි වෙලා හිටියම ඔයාගෙ අසනීපෙට මොකද වෙන්නෙ.බය වෙන්න දෙයක් නෑ.ඔයාගෙ නෑනා දරුවා හොදට බලා ගන්නවා.මතක තියා ගන්න ඔයාටත් රෙස්ට් එක ඕනි."
වෛද්‍යවරයා පිටව ගියෙ කවීෂගෙ පිටට තට්ටුවකුත් දාලා.
"කවීෂ, ඔයාට සැකයිද මම දරුවා හරියට බලා ගන්න එකක් නෑ කියලා.ඔයා එහෙම හිතනවද..?"
සහන්සා ඇහුවෙ කවීෂගෙ දෙනෙත් දිහා කෙලින්ම බලලා.
"අනේ දෙයියනේ නෑ සහන්සා එහෙම කිසිම දෙයක් නෑ.ඔයා මටත් වඩා හොඳට දෝණි බලා ගන්නවා කියලා මම දන්නව.මම මේ ඉන්නෙ දරුවා දාලා යන්න බැරි කමට "
කවීෂ කියුවෙ ඇත්තටම .
"මම දන්නවා කවීෂ විහඟි අසනීප වෙච්ච දවසෙ ඉදලම ඔයා දරුවා වෙනුවෙන් කැප උනා.එයාව බලා ගත්තා.එයා එක්කම හිටියා.ඒත් දැන් ඔයා අසනීපෙන් .ඔයා අසනීපෙ වැඩි කර ගත්තොත් කවුද දරුවා බලා ගන්නෙ.දැන් යන්න.මම දරුවා මගෙ ඇස් දෙක වගේ බලා ගන්නවා.විස්වාස කරන්න.ප්ලීස් ...ඔයාට අමාරුයි.ඔය ඇස් දෙකෙන් ඒක පේනවා."
සහන්සා කියද්දි කවීෂට දැනුනෙ තමන්ගෙ කමක්.තමන්ගේ බිරිඳ දරුවා වෙනුවෙන් තමාටත් වඩා කැපවන මේ තරුණියගේ බසට අකීකරු වීමට කවීෂගෙ හිත ඉඩ දුන්නෙ නෑ...
මැලවී ගිය පුන්චි මුව මත හාදුවක් සටහන් කල කවීෂ ගෙදර එන්න පිටත් උනේ ඒකයි
.........................................
ගෙදර තත්වය මේ වෙනකොට ගොඩක් වෙනස් වෙලා තිබුනෙ.උදේ ඉදලම සහන්සා නොපැමිණීම නිසා විහඟි හිටියෙ තරමක් කේන්තියකින්.මේ නිවසේ ඇය ගැන යම් හෝ සැලකිල්ලක් දැක්වූවානම් ඒ සහන්සා පමණයි .සහන්සා ගමේ ගිය බව මැණිකා පැවසූ පසු විහඟි දහවල් කෑම පවා ප්‍රතික්ෂේප කලා.
කවීෂ ගෙදර ඇවිත් මූණ සෝදගෙන කිරි එකක් බීලා බෙහෙත් ටික බිවුවෙ ඉක්මනට සනීප වෙලා දෝණි ලගට යන්න ඕනි නිසා.
කාමරේ දෝණි නැතුව ඉන්න කවීෂගෙ හිතට ඉඩ දුන්නෙ නෑ.දෝණිගෙ සුරතල් සිනා හඩ නිසා ඒ කාමරය පුරා පිරිලා තිබුනෙ.අද කාමරය පුරා ඇත්තේ පාලු මූසල බවක්.ඒ තනිකම දාරා ගන්නට බැරුව කවීෂ කුස්සිය දෙසට පිය මැන්නා.
"මැණිකා නැන්දා..විහඟි නෝනා තේ බිවුවද..?"
"කොහෙද මහත්තයා ...සහන්සා නෝනා ගියා කියපු වෙලේ ඉදලා කන්නෙ බොන්නෙ නෑ.."
කවීෂ විහඟිගේ කිරි එකත් අරන් කාමරේට පිය මැන්නා.විහඟිගේ අසනීප තත්වය නිසා විහඟි දරුවාත් කවීෂත් ප්‍රතික්ෂේප කරන්න ගත්තට පස්සෙ මේ විදිහට කවීෂ කාමරේට ගියාමයි.
"විහූ...."
කවීෂ රෝද පුටුව ලග බිම වාඩි වෙලා විහඟි ඇමතුවා.විහඟිගේ පණ නැති දෙකකුල් මත හිස තියා ගත් කවීෂ පොඩි එකෙක් වගේ අඩන්න ගත්තා.
"අනේ විහූ ඇයි අපිට මෙහෙම උනේ කියන්න රත්තරන්.ඔයාට මතකද මම ඔයාට පොරොන්දු උනා.අපිට පැටියෙක් ලැබුන දවසට මම ඔයාලා දෙන්නව ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා.ඒත් ඇයි විහූ මෙහෙම මට කියන්න.අපි මේ තරම් පව් කලාද..?ඔයාට දුක නැද්ද විහූ මාවයි දරුවයි එපා කියන්න.ඇයි ඔයා අපි දෙන්නා දකිනකොට කේන්ති ගන්නෙ...මම ඔයාට කොච්චර ආදරියිද කියලා ඔයා දන්නවද විහූ...?අපේ දෝණි ලොකු වෙලා ඔයාව බලා ගනී විහූ..."
කවීෂ ඉකිලන්න පටන් ගත්තා.
"ඔයා දන්නවද අද අපෙ පැටියා හොදටම ලෙඩ වෙලා..එයා පරවෙච්ච මලක් වගේ ඇද උඩ වැටිලා ඉන්නවා.වෙනදා වගේ හුරතල් වෙන්නෙ නෑ...අනේ මට දරා ගන්න බෑ රත්තරන් .."
කවීෂ අඩමින් ඒ කකුල් මත තම මුහුණ තවත් තද කර ගත්තා.
එකවරම විහඟි රෝද පුටුව අනිත් පැත්තට හරවා ගනිද්දි කවීෂගෙ හිස පුටු ඇන්දෙ වැදුනෙ කවීෂ තවත් හඩවමින්.කවීෂ කියූ දේ නෑසුනා මෙන් විහඟි එහාට ගියෙ කවීෂ හිස බදාගෙන බිමම ඉදගෙන අඩද්දි..
දස වන පරිච්ඡේදය
දින පහකට පස්සෙ දරුවා නිවසට එක්කන් ආවෙ හොදටම සනීප උනාට පස්සෙ.දින පහම දරුවා ලග රැය පහන් කලේ සහන්සා .කවීෂ කීප විටක්ම දරුවා ලග ඉන්න උත්සහා කලත් කවීෂගෙ අසනීප තත්වය නිසා සහන්සා ඊට ඉඩ දුන්නෙ නෑ...
දරුවා උනත් මේ දින කීපයට සහන්සා සමඟ බැදිලා හිටියෙ පුදුම විදිහට.
දරුවා ගෙදර එක්කන් ආවත් සහන්සා හිටියෙ හොඳටම තෙහෙට්ටුවෙන්.දින පහක් එක දිගට දරුවා ලග නිදි වැරීම නිසා සහන්සගෙ මූණ මැලවෙලා තිබුනා.
"සහන්සා..."
දරුවා ගෙදර එක්කන් ආපු දවසෙ හවස සහන්සා කෑම මේසෙ වාඩිවෙලා ඉද්දි කවීෂ කතා කලා.
සහන්සා හිටියෙ මැණිකා අම්මට කියලා හදා ගත්ත සමහන් එකක් තොල ගාමින්.
"ආ...කියන්න කවීෂ ...දෝණි දොයිද..?"
"ඔව්....නිදි...අනේ මන්දා...දැන් මම නිදි කරන විදිහට එයා නිදා ගන්නෙත් නෑනෙ.අන්තිමට කවියක් කියුවම නින්ද ගියෙ.ඉස්සරනම් පපුව උඩින් තියා ගත්තම නිදා ගන්නවා.."
"අනේ සොරි කවීෂ ...ඔව්නෙ...පහුගිය දවස් ටිකේ මම කවි කියලනෙ දෝණි නිදි කලේ.එයා ඒකට හුරු වෙලා වෙන්න ඇති..."
"සොරි...??සොරි නෙමෙයි සහන්සා මම මේ ආවෙ ඔයාට ස්තූති කරන්න.ඔයාට ගොඩක් පින් සහන්සා.අද මගෙ දෝණි මේ තරම් සනීප උනේ ඔයා නිසා.ඩොක්ටර් කියුවා ඔයාගෙ කැපවීම නිසා තමයි මේ තරම් ඉක්මනට දෝණිට සනීප උනේ කියලා.."
"අනේ කවීෂ ...මම දෝණි දැකපු වෙලේ ඉදන් මම එයාට ආදරෙයි...එච්චරයි ...මම ලොකු දෙයක් කලේ නෑ..."
"අනික සහන්සා ...එදා ඔයාගෙ මොබයිල් එක මගෙ කාර් එකේ වැටිලා තිබිලා.මට අද උදේ හම්බ උනේ..මේ..."
"ඕ...මම හිතුවා හදිසියට මම කොහේහරි දාලා කියලා.තෑන්ක්ස් කවීෂ .පහුගිය ටිකේම අම්මට කතා කලේ නෑ..බය වෙලත් ඇති..."
සහන්සා ෆෝන් එක ගත්තත් බැටරි බැහැලා තිබුන නිසා චාර්ජ් එකටගහලා නින්දට වැටුනෙ තෙහෙට්ටුව වැඩි කමට.
................................
"සහන්සා නෝනා...සහන්සා නෝනා.."
උදේ සහන්සට ඇහැරුනේ මැණිකගෙ හඩින්.
"අනේ මැණිකා නැන්දා මට අද ටිකක් වැඩිපුර නින්ද ගියානෙ.."
සහන්සා ඇග මැලි කඩමින් කියුවෙ හිනා වෙලා.
"සහන්සා නෝනෙ...අන්න බලමු කවුද ඇවිත් ඉන්නෙ කියලා..."
"කවුද මැණිකා නැන්දා ..?"
"ඇවිත්ම බලමුකො..හැබැයි ඉක්මනට එන්න."
මැණිකා කිසිත් නොකියා කාමරෙන් පිට උන නිසා සහන්සා ඉක්මනින් නැගිටලා මූණ සෝදන් ඇදුමක් දාගෙන එළියට ආවා...
"අම්මා...ඔයාලා...!!!"
සහන්සාගෙ ඇස් පුදුමෙන් මහත් උනේ සාලෙ වාඩිවෙලා හිටපු අය නිසා.
"අම්මා...තාත්තා ...අනේ ඔයාලා මාව බලන්න ආවද...ශාලිත අයියා ඔයා කවද්ද ජපෑන් ඉදලා ආවෙ...?"
සහන්සා ප්‍රශ්න ගොඩක් අමුත්තන් ඉදිරියේ තියද්දි කවීෂ දරුවත් එක්ක පහළට බැස්සා.
"අනේ අනේ ...මැඩම්ලට කෝල් එකක් ගත්තට ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ...අපිම එන්න ඕනි බලන්න...නේද ආන්ටි...?"
ශාලිත ඇහුවෙ හිනා වෙලා...සහන්සගෙ අතින් අල්ලා ගන්න ගමන්.
"අනේද කියන්නෙ පුතා...මට ඉෂාරා දුව කියුවා ජොබ් එකකට ගියා කියලා..කවුද දන්නෙ මෙහෙම වැඩක් කියලා.චූටි දෝණි ඔයාගෙ පණ්ඩිතකම් ඇති.මේ රස්සාව ඕනි නෑ..ලෑස්ති වෙනවා ගෙදර යන්න."
අම්මගෙ තීරණය අම්මා කෙටියෙන්ම කියලා දැම්මා..
"සුදූ නැන්දා කියන කතාව හරි...මොකක්ද මේ වැඩේ තේරුම .ඉගනගෙන නැද්ද..?සල්ලි නැද්ද..?ලෙඩ්ඩු බලා ගන්න මේ ගෙවල්වල ඉන්නෙ..??"
ශාලිත අම්මගෙ තීරණයට පොහොර දාද්දි සහන්සා නිහඩව බිම බලන් හිටියෙ.
"කෝ දරුවො මේ ගෙදර මිනිස්සු..??"
තාත්තා සහන්සගෙන් ඇහුවෙ කවුරුත් පේන්න නොහිටි නිසා.
මේ සියල්ලට ඉඩ දීලා පසෙකින් හිටපු කවීෂ දරුවා එක්ක ඉදිරියට ආවෙ තවත් පසෙක සිටීම හොඳ නැති නිසා.
"අංකල් මම කවීෂ ... සහන්සා බල ගන්නෙ මගෙ වයිෆ් විහඟිව..අම්මයි තාත්තයිනම් දඹදිව ගිහින්.ලබන සතියෙ තමයි එන්නෙ.."
කවීෂ කියුවෙ අසරණ කමක් අතැතිව කියලා ඒ මූණ දැකපු සහන්සට හිතුනා.
"ඕ ....මට ඉෂාරා දුව ඔය අසනීප දරුවා ගැන කියුවා පුතා..අනේ මන්දා...මේ අපිට ඉන්න එකම කෙල්ල පුතා.මෙයාට අපි බුරුල දුන්නා වැඩි..මෙයා උපාදියක් තියන ඉගන ගත්ත දරුවෙක්.අපිට සල්ලි බාගෙ කිසිම අඩුවක් නෑ...මේ මෙයාගෙ කැමැත්තෙන් හොයා ගත්ත රස්සාවක්.ඇත්තටම අපිනම් කැමති නෑ.."
"අනේ ඔය කියනකම් සහන්සා අපිට ඔය විස්තර මුකුත් කියලා තිබ්බෙ නෑ අංකල්.ඇත්තටම සහන්සා ආවට පස්සෙ තමයි මගෙ ලෙඩින් හිටපු වයිෆ් ටිකක් දුරට හරි එයාගෙ කෑමබීම ගන්න සතුටින් ඉන්න පටන් ගත්තෙ...ඒ පින් සහන්සට තියනවා අංකල්.."
කවීෂ ඒ කතාකලේ හදවතන්මයි කියලා සහන්සගෙ තාත්තට හිතුනා.
....................
මැණිකා දවල් කෑම ලෑස්ති කලා.හැමෝම කෑම කාලා ඉවර වෙනකොට අම්මයි තාත්තයි දෙන්නා කවීෂ එක්ක හොඳ කතාවක.
සහන්සා ශාලිත එක්ක මිදුලට ආවා.
"සුදූ...හැමදාම මේවා කර කර ඉදලා බෑනෙ.මම මේ පාර යන්න කලින් අපේ එන්ගේජ්මෙන්ට් එක ගමු කියලා අපෙ අම්මලා ඉන්නවා.."
"එන්ගේජ්මන්ට්..?"
සහන්සා ප්‍රතිරාව කලා.
"ඔව්...සුදූ අපේ මැරේජ් එක අම්මලා ඩිසයිට් කරලා තියෙන්නෙ අපි පුන්චි කාලෙමනෙ..ඔයා ඒක දන්නවනෙ..දැන් ඇයි මේ..??"
සහන්සා නිහඩ උනේ ඒ තීරණය ගැන සහන්සාත් දැනන් හිටපු නිසා.
නැවත සහන්සා සහා ශාලිත ගෙට ගොඩ වෙද්දි බිම හිටපු චූටි දෝණි දණ ගාගෙන ඇවිත් සහන්ස ලග නතර වෙලා අත් දෙක උස්සලා හිනා උනා..
සහන්සා දරුවා වඩා ගත්තෙ ආදරෙන්...
"ඔයා අම්මවයි බබාවයි දෙන්නම බලා ගන්නවද..?"
ශාලිත ඇහුවෙ අමනාපයක් තැවරුන කටහඩින් කියලා සහන්සට හිතුනා.
සහන්සා ශාලිත දිහා එකවරම ගැස්සිලා වගේ බැලුවෙ ඒකයි.
"නෑ මම ඇහුවෙ බබා ඔයාට ගොඩක් එකතුයි වගේ දැනුන නිසා..."
ශාලිත කියුවෙ වැරැද්ද හදා ගන්න වගේ..
කිරි සුවඳ ගලාවි ආදරෙන්❤️❤️
![]() |
| තුන්වන කොටසට |
