Tuesday, July 2, 2019

මතක පොත 📚 📚📚

මතක පොත 📚 📚📚

හුදකලාවෙ ඉන්න මොහොතක
මතක පොත ගෙන පෙරලලා..
නැමුණු තැන් හෙම දිගැරලා මන්
කියෙව්වා එය හිනැහිලා..
අපේ ආදරේ හැඩට තිබුනා එහි
පාට පාටින් ලියැවිලා...
හිනා මූනුම ගොඩක් තිබුනා
පිටු පුරාවට හිනැහිලා..

පිටු පුරාවලට තිබ්බ හැඩතල
සදේ රැස් ගෙන සෝදලා..
තවරලා ඇත පිච්ච සුවඳක්
පිටු පුරාවට තවරලා..
එකින් එක පිටු ගැනන් යනකොට
මැද්දෙ පිටුවක් පොඩි වෙලා..
ඉරිලා බොඳ වී පොඩි වෙලා ඇත
ඒ පිටුව හරි කැත වෙලා..

අතින් පිරිමැද ඉරුන කඩතොලු
දිගෑරන් එය කියවලා..
අපේ නම් මැද ලොකුම අකුරෙන්
තව නමක් ඇත ලියැවිලා..
බොඳව ගිය ඒ අකුරු හෙමිහිට
ගලපලා ගෙන කියවලා..
මගේ නම ඇත නුඹේ පෑනෙන්
කුරුටු බලියක හැංගිලා..

එතැන ඉදලා හෑම පිටුවක
එකම වදනක් ලියැවිලා..
" මෙමෙට පාළුයි නුබම එනවද
අනේ රන් කද පියඹලා.."
ටිකෙන් ටික ඒ අකුරු වෙනුවට
පිටුව ගානෙම බොඳ වෙලා..
අකුරු ඕනිද පොතක් පිරෙනට
යටි හිතින් මන් විමසුවා....

අකුරු මොකටද පිටුව බොඳනම්
කතන්දර එහි ලියැවිලා..
හිතම කියුවම පුදුම හිතුනා
පොතේ පිටු දෙස මන් බලා..
කඳුළු වලටම දිය වෙලා ගිය
බොඳ වෙච්ච පිටු පෙන්නලා..
ලොකු කතාවක් එහි තියන බව
හිතක් කියුවා සුසුම ලා...

තේරුනාදෝ යන්තමටවත්
හිතක් ඇහුවම මුමුණලා..
කට කොනින් මම හිනැහිලා..
ඔළුව දෙපසට හොලවලා...
බොඳ වෙලා ගිය පිටු පුරා ඇති
කතාවක් මම කියැව්වා..
හිතක් මරලා එක කතාවක්
තිතක් නැතුවම නැවතිලා...

අහින්සා පැහැසරණි
2019.06.05