Saturday, July 13, 2019

හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

ලේ බිංදුව ගානෙ ගලයි සේලයින් බට දිගෙ...
තාත්තගෙ ලේ ගලන්ඇත්තෙ මගෙ මව් බිම දිගේ..
හුස්ම ගනිද්දී නුඹ දැන් හුස්ම බටේ දිගේ...
හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

මරතොන්ඩි රටා මැවූ නුඹෙ අත් දෙක දැකලා...
නලල් තලේ හැඩට ඇන්ද පොට්ටුව මැකිලා..
" අප්පව බේරලා ඩෙන්න" කිය කිය හඩනා...
තංගමනී දැක්ක ගමන් මගෙ හිත රිදුනා..

මලානිකව පොඩි උන නුඹෙ රතු පැහැ ඇස් දෙක...
හොයා ගන්න නහර බෑනෙ කට්ට කළුම හම...
අතක කොටපු පච්චෙ දැක්කෙ අන්තිමටම මම...
"ප්‍රභාකරන් අපේ රජා" ගසා ඇත්තෙ හම...

වේදනාවෙ නුඹෙ කෙඳිරිය ඇහෙනාකොට හෙමින්...
තාත්තා මට සිහි උනානෙ දෑසම තෙත් කරන්...
අයදින විට නුඹෙ ජීවිතේ මගෙ අත් උඩ ඉදන්...
උඹෙ උණ්ඩය යන්න ඇත්තෙ තාත්තගෙ පපු පලන්..

ලේ බිංදුව ගානෙ ගලයි සේලයින් බට දිගෙ...
තාත්තගෙ ලේ ගලන්ඇත්තෙ මගෙ මව් බිම දිගේ..
හුස්ම ගනිද්දී නුඹ දැන් හුස්ම බටේ දිගේ...
හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

ඉන්ජෙක්ශන් කටුව අරන් තද කරගෙන මම...
වෛරය දුක කඳුල හෙමින් දිය කර බෙහෙතක...
නුඹේ අතේ රදවලා ඇති කැනියුලාව වෙත...
ඉන්ජෙක්ශන් එක ගැහුවා "සුව වීයන් නුඹ..."

අප්පච්චිගගෙ නිසල දේහෙ බදන් මම එදා...
ඇඩුවා මතකයි හොඳටම මං හයියෙන් ඒ බදා...
තංගච්චී තංගමනී උඹෙ අප්පා එදා...
මගෙ අප්පා මැරුවත් මන් සුව පතනෙමි සදා..

වෛරය දුක වේදනාව මටත් දැනෙනවා..
හැඟීම් එක්ක වෙලාවකට මාත් මැරෙනවා..
හෙද කමකට වෛරය නෑ සුවය පතනවා..
නුඹ කල පව් නුඹ දවසක අරගෙන යනවා..

හිස රැදි තොප්පියේ මහිම මන් සුරකිනවා😢

නිමිත්ත ..හිටපු කොටි ත්‍රස්තවාදියෙකුට හෙදකම් කිරීමට සිදු වූ යුධ හමුදාවෙ සිටි පියා මිය ගිය හෙද දියණිය.

අහින්සා පැහැසරණි
2019.07.12